බලසම්පන්න කඨින පින්කමට මුල පුරන වැසි සළු පූජාව
සැම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට මට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා.වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්.මෙහිදි ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන මෙන් ආරාධනා කිරීම පුරාතනයේ සිට පැවත එන උතුම් සිරිතකි.මොකක්ද මේ වැසි සළු පූජාව
වස් වසන භික්ෂූන්වහන්සේලාට ජලස්නාන කරන අවස්ථාවල දී භාවිතා කිරීම සදහා වස්ත්‍රයක් පූජා කිරීම,වැසි සළු පූජාව නමින් හැඳින්වේ.එය ආරම්භ වී ඇත්තේ විසාඛාවගේ ඉල්ලීමක් නිසාය.
'ඉච්ඡාමහo භන්තේ සoඝස්ස යාවජීවo වස්සික සාටිකo දාතුo' ,ස්වාමිනි,මම දිවි ඇති තාක් භික්ෂූන්ට වැසි සළු පූජා කරන්න කැමැත්තෙමි යයි විසාඛාව විසින් කරන ලද ඉල්ලීම, බුදුරජාණන් වහන්සේ විසින් 'අනුජානාමි භික්ඛවේ වස්සික සාටිකo' යයි අනුමත කළහ.ඒ අනුව දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කරන අවස්ථාවේදි ජලස්නානය සදහා භාවිතා කළහැකි වස්ත්‍රයක්(නානකඩයක්) වැසි සළුවක් වශයෙන් පූජා කරනු ලබයි.
නානකඩයක් යනු කුමක්ද?
පැන් පහසුවීමේදි උපසම්පදා ස්වාමින්වහන්සේලා මෙන්ම සාමනේර ස්වාමින්වහන්සේලාද නානකඩයක් භාවිතා කිරීම විනයානුකූලව සිදුවන්නකි.කපු රෙදි ( තායි කොට්න් ඉතා සුදුසුය ) භාවිතා කරමින් වාටි හොදින් මසා පඬු ගසා සකසාගත් නානකඩයක් ස්වාමින්වහන්සේලාට ඉතාම වටිනා වස්තුවක් වන අතර එය තුවායක් වෙනුවට වුවද භාවිතා කල හැක.
නානකඩයක දිග පළල කෙසේ විය යුතුද?
නානකඩයක් සකසා ගත යුත්තේද විනයේ සදහන් වන ආකාරයටමය.එහි දිග විය යුත්තේ සුගත් වියත් 6 ලෙසින් සහ පළලින් සුගත් වියත් දෙකහමාරක් වන ලෙසිනි.සුගත් වියතක් මධ්‍යම පුරුෂයෙකුගේ වියතින් වියත් තුනක්වේ.
වැසි සළුවක් සපයාගැනිම කල යුත්තේ කෙසේද?
දායක පින්වතුන්ගේ ආරාධනාවක් ඇතත් නැතත් උපසම්පදා භික්ෂූන්වහන්සේලා විසින් වස් කාලය ආසන්න වත්ම වස් සමාදන්වීම උදෙසා සූදානම් විය යුතුය.මෙහිලා විශේෂයෙන්ම වැදගත්වන්නේ වැසි සළුවක් සපයා ගැනීමයි.වැසි සළුවක් සපයාගෙන එය විනයානුකූලව සකසා වස් කාලයේ පෙරවීම උදෙසා භික්ෂූන්වහන්සේලාට විනයෙන් නියම වී ඇත.ඒ නිසාවෙන් වස් කාලය ආරම්භවීමට මාසයකට පමණ පෙර සිට වැසි සළුවක් සපයාගැනීම උදෙසා කටයුතු ආරම්භ කල හැකිය.එනමුත් වැසි සළුවක් මැසීම සහ පෙරවීම කල හැක්කේ වස් කාලය උදාවට සති දෙකක් ඇතුලත දී පමණි.
වැසි සළුව සහ දායක පින්වතුන්ගේ පෙර සූදානම
සැදැහැවත් පින්වතුන් මේ උතුම් වස් කාලය එළඹෙන තෙක් බලාසිටින අතර ඔවුන් විසින් කල් තබාම වැසි සළු සකසා පූජා කිරීම උදෙසා සූදානම් වේ.එලෙසින් යම් දායක පිරිසක් කටයුතු නොකෙරේ නම් පෙර වසරවල වැසි සළු පිදු දායක පින්වතුන්ට හෝ නැතහොත් නිරන්තර මහා සංඝරත්නයේ සිවුපසය පිළිබදව විමසන පින්වතුන්ට හෝ එසේත් නැතිනම් තම ඥාතින් වෙත හෝ ඉදිරියේ එළබෙන්නේ වැසි සළු පූජාවට සුදුසු කාලය බව භික්ෂූන්වහන්සේලා විසින් ඇඟවිය යුතුය.
වැසි සළුව සහ වස් ආරාධනාව
වැසි සළුවක් සකසා ගත් දායක පින්වතුන් විසින් ඇසළ පුරපසළොස්වක පොහෝ දිනයේදි සන්ධ්‍යා කාලයේදි මහා සංඝරත්නයට වස් ආරාධනා කරති.මෙය බොහෝ විට සිදුකරන්නේ දායක සභාවේ සභාපතිතුමා විසින් හෝ වෙනයම් පවරන ලද දායක සුපින්වතෙකු විසිනි.මේ අවස්ථාවේදි වැසි සළුවට අමතරව මල් ගොටුවක් සහ දැහැත් සහිත සෙසු පිරිකරද දායක පින්වතුන් විසින් සූදානම් කර තබා ගනි.අරණ්‍යයේ හෝ විහාරස්ථානයේ භික්ෂූන්වහන්සේලා විසින් දාඅක පින්වතුන් ආජීව අෂ්ඨමක සීලයේ පිහිටුවාලමින් වස් ආරාධනාව උදෙසා අවස්ථාව සලසා දෙනු ලැබේ.
වස් ආරාධනාව
වස් ආරාධනාව සිදුකිරීම සදහා වස්ආරාධනය කරණු ලබන දායකයන් විසින් හෝ වෙනයම් පින්වතෙකු විසින් හෝ එසේ නැතිනම් දායක පින්වතෙකු විසින් හෝ මහා සංඝරත්නය අභියස දණ බිම හොවාගෙන වස් ආරාධනා වාක්‍යය කියනු ලැබේ.
එම වස් ආරාධනා වාක්‍යය නම්,
පින්වත් ස්වාමින්වහන්ස, මේ උදා වූ වස් තුන් මාසය පුරාවට අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම අරණ්‍යයේ / විහාරස්ථානයේ/කුටියෙහි වස් සමාදන්ව වැඩ වාසය කරන සේක්වා.වස් තුන් මාසය පුරාවටම අප විසින් ස්වාමින්වහන්සේලා උදෙසා චීවර,පිණ්ඩපාත,සේනාසනය සහ ගිලානප්‍රත්‍ය යන සිවු පසයෙන් උපස්ථාන කරන්නට පොරොන්දු වෙමු
මේ අයුරින් එක් ස්ථානයක වස් සමාදන්වීමට උපසම්පදා ස්වාමින්වහන්සේලා බොහොමයක් වැඩ සිටීනම් එම එක් එක් ස්වාමින්වහන්සේලා අභියස දායක පින්වතුන් විසින් මෙලෙසින් වස් ආරාධනා කල යුතුය.
මේ අයුරින් මල් ගොටු සහිත වැසි සළු සහ පරිෂ්කාර භික්ෂූන්වහන්සේලාට පූජා කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලාට වස් තුන්මාසයත් චීවර මාසයත් යන මාස හතරක් සදහා වැසි සළුව අධිට්ඨාන කළ හැකිය.එනම් 'ඉමo වස්සිකසාටික චීවරo වස්සානo චතුමාසo අධිට්ඨාමි' යනුවෙනි.
වස් ආරාධනා පරිෂ්කාර
මෙහිදි වස් ආරාධනා කරනා භික්ෂූන්වහන්සේලා උදෙසා සියලු ආකාරයේ පරිෂ්කාර කැපසරුප් ලෙසින් පූජා කිරීම ඉතා අගනේය.වර්තමාන කාලයේදිනම් විශේෂයෙන්ම සුවධරණි වැනි ප්‍රතිශක්තිකරණ ඖෂධ ඉතා යෝග්‍යය.තවද බෙහෙත් තෙල් වර්ග,කොත්තමල්ලි,ඉගුරු,සූකිරි,චතු මධුර,මී පැණි,උක් හකුරු,වෙනිවැල්ගැට,විදුලි පන්දම් සහ බැටරි,පඬු වර්ග ආදි නොයෙකුත් දේ විමසා බලා වුවද පූජා කරගත හැකිය.
වස්සාන සමයේ ඉලක්කය විය යුත්තේ?
එහෙයින් භික්ෂූන්වහන්සේලා වස් සමාදන් වීමෙන් පසුව එළබෙන උතුම් වස් කාලය යනු නිවන් මඟ පූරණය උදෙසාම භික්ෂූන්වහන්සේලා වීර්යය වඩනා කාල සීමාවකි.තවද සාසනික ඉතිහාසය පිළිබදව විමසා බැලීමේදි ගිහි පැවිදි බොහෝ පිරිසක් උතුම් මගඵල නිවනින් සැනසී ඇති කාල සීමාවකි.එහෙයින් වැසි සළු සහ පරිෂ්කාර පූජා කරමින් වස් ආරාධනා කරන සුපින්වත් ඔබ සැම උතුම් වස් පවාරණය සිදුකරමින් වස් අවසාන මහා පින්කම සිදුවන දින දක්වාම වීර්යයවන්තව,තම තමන්ගේ ශක්ති පමණින් උතුම් සංඝෝපස්ථානයේ නිරත වන්න.උතුම් සීලයක් ආරක්ෂා කර ගනිමින් උත්කෘෂ්ඨ ත්‍රිහේතුක කුසල් දහම් ජීවිතයට එක් කර ගනිමින් මගඵල නිවනින් සැනසීම පිණිසම උත්සාහවත් වන්න.
වර්තමානයේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය නිසා වෙනදා මෙන් නිසියාකාරව මෙම පිංකම සිදුකර ගැනීමට නොහැකිවීම පිළිබඳව කඨින පිංකම දායකත්වය උසුලන අයෙකුවේ නම් ඒ පිළිබඳව කනගාටු නොවිය යුතුය. මක්නිසාද යත් ප‍්‍රතිපත්තිගරුක භාවය ඒ සැමට වඩා ප‍්‍රබල නිසාය. ප‍්‍රතිපත්තිගරුකව ධර්මයෙහි හැසිරෙමින් උතුම් නිවනට හේතු කාරක ධර්මයන් සපුරා ගැනීමට උත්සහ වෙත්වා!
✍️ උපුටා ගැනීමකි.
තෙරුවන් සරණයි.
🙏☸️🙏
0 Comments